සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රයේ ඇති තරුව හිරු හෙවත් සූර්යයායි. ( ලතින් භාෂාවෙන් හැදින්වෙන්නේ සොල් යනුවෙනි) පෘථිවිය ඇතුලු අනෙකුත් වස්තුන් (අනෙක් ග්‍රහලෝක, ග්‍රහක,උප ග්‍රහයන්,වාමන ග්‍රහයන්) සූර්යයා වටා ගමන් කරන අතර සෞරග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.8% කට පමණ වගකියන්නේ සූර්යයායි. සූර්ය ශක්තිය , හිරු එළිය සහ තාපය ලෙස පෘථිවිය මත වෙසෙන සියලුම ජීවින්ට අත්‍යාවශ්‍ය වේ. සූර්යාලෝකය ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ ප්‍රභාසංස‍්ලේෂණ ක්‍රියාවලියටය. එසේම සූර්යයා මගින් පෘථිවියේ දේශගුණය හා කාලගුණය පාලනය කරයි. සූර්යයා පෘථිවිය මෙන් 109 ගුණයක් විශාල වේ.
සූර්යයා ගේ මතුපිට සංයුතිය හයිඩ්‍රජන් (එහි ස්කන්ධයෙන් 74% ක් පමණ හෝ එහි පරිමාවෙන් 92% ක් පමණ ) හීලියම් (ස්කන්ධයෙන් 24 – 25% ක් , පරිමාවෙන් 7% ක් )සහ යකඩ , නිකල්, ඔක්සිජන්, සිලිකන්, සල්ෆර්, මැග්නීසියම්, කාබන්, නියෝන්, කැල්සියම්, සහ ක්‍රෝමියම් යන මුලද්‍රව්‍ය ඉතා සුළු ප්‍රමාණ වලින් ද සමන්විත වේ.
සුර්යයාට ඇත්තේ G2V ලෙස හැඳින්වෙන වර්ණාවලි පන්තියකි. G2 යනුවෙන් අර්ථ දැක්වෙන්නේ 5,780 K මතුපිට උෂ්ණත්වයක් එය සතුව ඇති බවත් එනිසා එයට සුදු පැහැයක් ලැබී ඇති බවත් ය. වායුගෝලීය විසිරීම හේතුවෙන් පෘථිවි පෘෂ්ඨයේ සිට බලන කල සූර්යයා දිස්වන්නේ කහ පැහැයෙනි.
එහි වර්ණාවලිය සතුව අයනීකරණය වු සහ උදාසීන ලෝහ රේඛා මෙන්ම ඉතා දුර්වල හයිඩ්‍රජන් රේඛාද වේ. වර්ණාවලි පන්තියේ V යන්නෙන් අදහස් වන්නේ බොහෝ තාරකා මෙන්ම සුර්යයාද ප්‍රධාන අනුක්‍රමයේ තරුවක් බවයි. එනම්, එමගින් ශක්තිය නිපදවන්නේ හයිඩ්‍රජන් න්‍යෂ්ටි හා හීලියම් න්‍යෂ්ටි විලයනයෙනි. අපගේ ගැලැක්සියේ G2 පන්තියේ තාරකා මිලියන 100 කට අධික සංඛ්‍යාවක් තිබේ. කුඩා සහ සාපේක්ෂව වැදගත් නොවන තරුවක් ලෙස සැලකණු සූර්යයා ගැලැක්සියේ ඇති තාරකා (රතු කුරුමිට්ටන්) 85% කටත් වඩා දීප්තිමත් බවක් පෙන්නුම් කරයි.
ක්ෂිරපථය මධ්‍යයේ සිට සූර්යයාට ඇති දුර ආලෝක වර්ෂ 26,000 ක් පමණ වන අතර සූර්යයා එය වටා කක්ෂගත වේ. එහි උපරිම කක්ෂ වේගය තත්පරයට කි.මී. 220 ක් පමණ වේ. එනම් සෑම වසර 1400 කටම එක් ආලෝක වර්ෂයක් ද සෑම දින 8 කට ම තාරකා විද්‍යා ඒකකයක් ද (සූර්යයා සහ පෘථිවිය අතර ඇති දුර තාරකා විද්‍යා ඒකකයක් වේ) ගමන් කරයි. දැනට සොයා ගෙන ඇති කරුණු අනුව මෙම දුර ප්‍රමාණයන් නිවැරදි වන නමුත් නව දැනුම සමඟ මෙම අගයන් වෙනස් වීමට ඉඩ ප්‍රස්තාව ඇත.
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 17 ක් ඇතුලත පිහිටි ආසන්නම තාරකා පද්ධති 50 අතරින් දීප්තිමත් බවින් 4 වැනියට වැඩිම තාරකාව ද සූර්යයා වේ.
මුලද්‍රව්‍ය වල සුලබතාවය
බාකල් (Bahcal) විසින් 1990 දී සොයාගෙන ඇති පරිදි සුර්ය අභ්‍යන්තරයෙහි ඇති විශේෂ මුල ද්‍රව්‍ය සමහරකගේ ස්කන්ධ ප්‍රතිශතයන් මෙසේය.
හයිඩ්‍රජන් - 34%
හීලියම් - 64%
ඔක්සිජන් - 1%
ලිතියම්, බෙරලියම් සහ බෝරෝන්
පෙර සිතුවාට වඩා ලිතියම්, බෙරලියම් සහ බෝරෝන් යන මුලද්‍රව්‍ය සුලබ බව 1968 දී බෙල්ජියානු විද්‍යාඥයෙකු විසින් සොයා ගන්නා ලදි.
නියෝන්
2005 වර්ෂයේ දී විද්‍යාඥයින් තිදෙනෙක් විසින් කියා සිටියේ සූර්යයා තුල නියෝන් වල සුලබතාවය පෙර සිතා සිටියාට වඩා වැඩි බවය.
හීලියම්
1986 වන තුරුම පිළිගෙන තිබුනේ සුර්යයාගේ හීලීයම් සංයුතිය Y = 0.25 බවය. නමුත් 1986 දී විද්‍යාඥයින් දෙදෙනෙකු විසින් එම සංයුතිය Y = 0.279 ක් බවට නිවැරදි කරන ලදි.
තනිව අයනීකරණය වූ යකඩ කාණ්ඩයේ මුලද්‍රව්‍ය
1970 දී යකඩ කාණ්ඩයේ මුලද්‍රව්‍ය සුර්යයා තුල කොතරම් සුලබද යන්න පිලිබද පර්යේෂණ දියත් කරන ලදි.
තනිව අයනීකරණය වූ යකඩ කාණ්ඩයේ මුලද්‍රව්‍ය වල සම්පූර්ණ gf අගයන් මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ කොරෝලිස්, බොස්මාන් සහ වෝනර් විසිනි. ස්මිත් නැමැත්තා විසින් වැඩි දියුණු කරන ලද f අගයන් පරිගණක ගත කරන ලදි. තනිව අයනීකරණය වූ යකඩ කාණ්ඩයේ මූල ද්‍රව්‍ය වල සුලබතාවය 1978 වසරේ දී බෙයිමොන්ට් විසින් සොයාගන්නා ලදි. ඇතැම් යකඩ කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල, එනම් කොබෝල්ට් සහ මැන්ගනීස් වැනි මුලද්‍රව්‍ය වල සුලබතාව තීරණය කිරිමට අපහසු වී ඇත්තේ එම මූලද්‍රව්‍ය සතුව පවතින ඉතාමත් සියුම් ව්‍යුහයන් නිසාය.
සූර්යයා සහ ග්‍රහලෝකවල භාගික ස්කන්ධ සබඳතාව
සූර්යයාගේ සහ ග්‍රහලෝක වල නිෂ්ක්‍රීය වායුන්ගේ සමස්ථානික සංයුති අතර භාගික ස්කන්ධ අතර සබදතාවයක් ඇති බව බොහෝ ලේඛකයින්ගේ අවධානයට ලක් වූ කරුණකි. උදාහරණ ලෙස සුර්යයාගේ සහ ග්‍රහලෝකවල නියෝන්(Ne) සහ සෙනොන් (Xe) යන මුලද්‍රව්‍ය වල සමස්ථානික සංයුතිය පිළිබද සබඳතාවය ඔවුන් විසින් පෙන්වා දෙන ලදි. කෙසේ නමුත් 1983 වන තුරුම විශ්වාස කළේ සෞරග්‍රහ වායුගෝලීය සංයුතිය හා සූර්යයාගේ සංයුතිය සමාන බවය.
1983 වසරේ දී විද්‍යාඥයින් දෙදෙනෙකු විසින් අනාවරණය කලේ ග්‍රහලෝක සහ සූර්යයා අතර ඇති නිෂ්ක්‍රීය වායු වල සමස්තානිකයන්ගේ සංයුතිය අතර භාගික සබඳතාවට හේතුව සූර්යයාගේ භාගීකරණයම බවය.
සූර්ය ලප සහ සූර්ය ලප චක්‍රය
පසුගිය වසර 30 තුළ සූර්ය චක්‍රවල සිදුවූ වෙනස්කම් පිළිබඳ ලබාගත් මිණුම්.
සූර්යා පිළිබඳව කාලෝචිත නිර්ණායක යෙදෙන විට ප්‍රථමයෙන්ම දිස්වන මුහුණුවර නම් සූර්ය ලපයි. වටපිටාවට වඩා අඩු උෂ්ණත්වයක් පැවතීම නිසා ඒවා සූර්ය ලප ලෙස හඳුන්වනු ලැබේ. ප්‍රබල චුම්භක ක්ෂේත්‍ර මගින් සංවහන ක්‍රියාවලිය අඩාල කරන නිසා සූර්ය ලප චුම්භක ක්‍රියාකාරිත්වය වැඩිවීමත් සමග වැඩි වේ. ප්‍රභල චුම්භක ක්ෂේත්‍ර මගින් මතුපිටට ශක්ති පරිවහනය අඩු කරන අතර ක්‍රියාකාරී ප්‍රදේශ නිර්මාණය කිරීම මගින් සූර්ය රැස් වළලුවලට අවශ්‍ය ශක්තිය ලබා දේ. එමනිසා ඒ සමග සූර්ය ගිනි දළු සහ රැස් වළලු ස්කන්ධ විසරණය වී ඉහළ යයි. විශාලතම සූර්ය ලපයක් කිලෝමීටර් 1000 ක් පමණ පළල වේ.
සූර්යා මත දැකිය හැකි සූර්ය ලප ප්‍රමාණය නියතයක් නොවුවද සූර්ය ලපවලට අවුරුදු 11ක පමණ චක්‍රයක් පවතින අතර එය සූර්ය චක්‍රය ලෙස හැඳින්වේ. එක්තරා කාලයකදී සූර්ය ලප කිහිපයක් පමණක් දැකිය හැකි අතර අනෙක් කාලය තුළදී සම්පූර්ණ සූර්ය ලප ප්‍රමාණයම දැකිය හැක. සූර්ය ලප ප්‍රථමයෙන් ඉහළ සූර්ය අක්ෂාංශවලින් ආරම්භවන අතර සූර්ය චක්‍රය දිගින් දිගටම සිදුවෙත්ම ඒවා ගණනින් වැඩිවන අතරම ඒවා සූර්යාගේ සමකය දෙසට ඇදීයයි. මෙම සංසිද්ධිය ස්පෝරස් නියමයෙන් පහදා දෙනු ලබයි.ප්‍රතිවිරුද්ධ චුම්භක ධ්‍රැව නිසා සූර්ය ලප සුලභ වශයෙන් හටගනී. සූර්ය ලපයක චුම්භක ධ්‍රැවය සූර්ය චක්‍රයෙන් සූර්ය චක්‍රයට මාරුවේ. එනම් මෙවර සූර්ය ලපයක උතුරු චුම්භක ධ්‍රැවය පිහිටයි නම් අනෙක්වර එහි පිහිටනුයේ දකුණු චුම්භක ධ්‍රැවයයි.
පසුගිය වසර 250 ක කාලය තුළ වසර 11ක සූර්ය චක්‍රයක් පෙන්වන සූර්ය ලපවල ඉතිහාසය
සූර්ය ලප අභ්‍යාවකාශ කාලගුණයට සහ පෘථිවියේ දේශගුණයට ද දැඩි සේ බලපෑම් එල්ල කරයි. සූර්ය ක්‍රියාකාරිත්වයේ අඩුවීම. අඩු උෂ්ණත්ව සමග සහ සම්බන්ධවන අතර සූර්ය ක්‍රියාකාරිත්වයේ වැඩිවීම උණුසුම් උෂ්ණත්ව තත්ව සමග සම්බන්ධව පවතී. 17 වන සියවසේ දී දශක කිහිපයක්ම සූර්ය ලපවල ක්‍රියාකාරිත්වය නැවතී තිබුණේය. මෙම කාලය තුළ ඉතා කුඩා සූර්ය ලප ගණනක් පමණක් නිරීක්ෂණය කොට තිබුණේය. මෙම යුගය කුඩා අයිස් යුගයක් ලෙස හඳුන්වාදී තිබුණි. මෙම කාලය තුළ යුරෝපය තුළ ඉතා පහත් උෂ්ණත්වයක් වාර්තාගතවී තිබිණි. ශාක වළලු අධ්‍යයනය මගින් අතීතයේ දී මෙලෙස ගෝලීය උණුසුම මධ්‍යන්‍යය උණුසුමට වඩා අඩු වූ යුගයක් වූ බව සොයාගෙන ඇත.
සූර්යයාගේ චුම්භක ක්ෂේත්‍රය
සූර්යයාගේ ධ්‍රැවීය චුම්භක ක්ෂේත්‍ර වල වෙනස්වීම සෞරග්‍රහ මණ්ඩලයේ සියලු වස්තූන්ට බලපායි. සූර්යයා පවතින්නේ වායු හා Plasma ස්වරූපයෙන් පමණි. ඊට හේතුව වන්නේ එහි අධික උෂ්ණත්වයයි. මෙම ස්වරූපය නිසා සූර්යයාගේ සමකාසන්න භ්‍රමණ කාලය, ධ්‍රැවයන්ට වඩා අඩු වේ. (ධ්‍රැවයන් ආසන්නයේ සූර්ය භ්‍රමණයට දින 35 ක් පමණ ගතවන අතර සමකාසන්නයේදී සූර්ය භ්‍රමණයට දින 25 ක් පමණ ගතවේ) මෙම භ්‍රමණ කාලයන්ගේ වෙනස නිසා හිරුගේ චුම්භක ක්ෂේත්‍ර රේඛා එකිනෙක ඡේදනය වීම සිදු වේ. මේ නිසා සමහරක් ස්ථානයන්ගේ චුම්භක බලපෑම අඩුවේ. එවිට එම ස්ථානයන්ගේ හිරුලප හා නෙරීම් (Solor Prominence) හට ගැනීමට හේතු වේ. මෙම චුම්භක රේඛා ඡේදනයන් නිසා හිරු තුළ පිහිටි ඉලෙක්ට්‍රොන වල වෙනස්වීම් සිදු වේ. අවුරුදු 11 ට වතාවක් මේ නිසා චුම්භක ක්ෂේත්‍ර දිශාවන් වෙනස් වේ. සූර්යයාගේ මෙම ධ්‍රැව වෙනස්වීම සූර්ය පෘෂ්ඨයට බලපායි. මෙවිට පෘෂ්ඨයෙන් චුම්භක විහිදෙන දිශාවන් වෙනස් වේ. සෞරග්‍රහ මණ්ඩලයේ සියලු වස්තූන්ට හිරුගේ බලපෑම දැනීමට, සෞරග්‍රහ මණ්ඩලයේ Plosma හේතු වේ. Plosma වලින් තොර, රික්ත අභ්‍යවකාශයක් තිබුණේ නම් හිරුගේ චුම්භක බලපෑම පෘථිවියට 10-4 සිට 10-11 අඩුවිය යුතුය. නමුත් චන්ද්‍රිකාවන්ට අනුව Magnetohydrodynomic (MHD) ඉලෙක්ට්‍රොනික වලාවන්හි බලපෑම නිසා මෙම බලපෑම රික්ත තත්ත්වයකදී 10-9 ක් බව ගණන් බලා ඇත.
නිරීක්ෂණය සහ ඇසට සිදුවන හානිය
thumb|පෘථිවි පෘෂ්ඨයේ සිට බලන කළ කැමරා කාචය තුලින් සුර්යයා දිස්වන අන්දම සූර්යාලෝකය ඉතාමත් දීප්තිමත් වන අතර පියවි ඇසින් සුර්යයා දෙස කෙටි වේලාවක් කෙලින්ම බලා සිටීම වේදනාකාරී විය හැකිය. නමුත් එය සාමාන්‍ය, කණිනිකාව විශාල නොවූ ඇස්වලට එතරම් ගැටලුවක් ඇති නොකරයි. කෙලින්ම සූර්යයා දෙස බැලීමෙන් Phosphene දෘෂ්ටි මායාවන් සහ තාවකාලිකව අර්ධ වශයෙන් අන්ධවීම සිදුවිය හැකිය. එමඟින් මිලිවොට් 4 ක පමණ සූර්යාලෝකයක් දෘෂ්ටි විතානය මතට පතිත වන අතර එමඟින් දෘෂ්ටි විතානය මද වශයෙන් උණුසුම් වී ආලෝකයට අනුව නිසි පරිදි ප්‍රතිචාර දැක්විය නොහැකියාවක් ඇති අක්ෂිවලට හානි ඇති කරයි. UV කිරණ වලට නිරාවරණය වීම මඟින් කාලයක් යන විට ඇසේ කාචය කහ පැහැයක ගන්නා අතර, ඇසේ සුද (Cataracts) ඇති වීමට මෙය දායකවන බව විශ්වාස කරයි. නමුත් මෙසේ සිදුවන්නේ සූර්ය UV කිරණවලට සාමාන්‍ය ලෙසට නිරාවරණය වීම නිසා මිසක සූර්යයා දෙස කෙලින්ම බලා සිටීම නිසා නොවේ. සූර්යයා දෙස බොහෝ වේලාවක් කෙලින් බලා සිටීම නිසා UV කිරණ මඟින් ඇති කරන පිළිස්සීම් වැනි දෑ තප්පර 100 ක පමණ පසු දෘෂ්ටි විතානය මත ඇති විය හැකිය. විශේෂයෙන් ම සූර්යයාගෙන් පැමිණෙන UV කිරණ තීව්‍ර හා හොඳින් නාභිගත වී ඇති අවස්ථාවල මෙම තත්ත්වය ඇති වේ. කුඩා දරුවන්ගේ ඇස් හෝ අලුතින් කාච තැන්පත් කරන ලද ඇස් (වයස්ගත වන සාමාන්‍ය ඇස් වලට වඩා වැඩි UV කිරණ ප්‍රමාණයක් මෙම ඇස් වලට ඇතුළු වේ) Zenith අසල සූර්ය කෝණ, සහ උස් අක්ෂාංශ වල සිට නිරීක්ෂණ කිරිම වැනි හේතු නිසා තත්වය වඩා බරපතල විය හැකිය.
ද්වීනේත්‍ර දුරදක්න (Binocular) වැනි ආලෝකය ඒකරාශ්‍රී කරන උපකරණ වල නියමිත. UV කිරණ අවහිර කරන පෙරහන් සවිකර නොමැත්තේ නම් මේවා තුලින් සුර්යයා දෙස බැලීම ඉතාමත් හානිකරයි. පෙරහන් රහිත ද්විනේත්‍ර දුරදක්නා මඟින් පියවි ඇසින් බලන විට දී වඩා 500 ගුණයකින් වැඩි ශක්තියක් ඇසට ඇතුලුවන බැවින් ක්ෂණිකවම දාෂ්ටි විතානයේ සෛල මරුමුවට පත් වේ. මධ්‍යහන ඉර දෙස පෙරහන් රහිත ද්විනේත්‍ර දුර දක්නා වලින් ඉතා කෙටි කාලයක් සුර්යයා දෙස බලාසිටිමෙන් ද ඇස් අන්ධ වීමේ ඉඩ කඩක් පවතී.
සූර්යයා දෙස ආරක්ෂිතව බැලීය හැකි එක් ක්‍රමයක් වන්නේ දුරදක්නය හෝ උපනෙත තුලින් පැමිණෙන ඡායාව තිරය මතට පතිත කිරිමෙනි. නමුත් ඇතැම් දුරදක්න වලට මෙම ක්‍රියාවේ දී හානි ඇතිවිය හැකි බැවින් මේ සඳහා භාවිතා කළ හැක්කේ කුඩා පරාවර්තන දුරදක්න හෝ ද්වීනේත්‍ර දුරදක්න පමණි.
අර්ධ සූර්යග්‍රහණ පියවි ඇසින් නැරඹිම හානිකර වන්නේ එහිදී ඇතිවන අසාමාන්‍ය ලෙස අධික දෘෂ්ටියට සරිලන පරිදි ඇසේ කණිනිකාව සැකසෙන්නේ නැති බැවිනි. මෙහිදි ඇසට සිදුවන හානිය කිසිදු වේදනාවකින් තොර වන අතර අන්ධ බව ඇතිවන්නේ තරමක කාලයකට පසුවය.