මේ තියෙන්නේ එක්තරා ආකාරයක ගෙයක්. මේ ගෙදර අයිතිකාරයා තමයි “උරපණු දළඹුවා” එහෙමත් නැතිනම් "Bagworm Caterpillar" . මේ දළඹුවා පුංචි ලී කැබැලි එකතු කරලා, ඒවා එයාගේ දත්වලින් ඉරලා මෙන්න මේ විදිහට ඉතාමත් විසිතුරු සර්පිලාකාර ගෙයක් හදනවා එයාට ජීවත් වෙන්න. මේ ගේ හරියට ලී කැබින් එකක් වගේ. මේ පුංචි සතා උපත ලබන්නේ සලබයෙක් විදිහට. "Bagworm Caterpillar" දළඹු විශේෂය පැටවු බිහිකළ ගමන්ම මේ ලී කැබින් එක හදන්නේ පැටවුන්ගේ ආරක්ෂාවට.
ඒ අය තමන්ගේ නිවෙස හදන්න යොදාගන්නේ සේද (පට නූල්), වැලි, පස් සහ පැළෑටි කොටස්. මේ පොටෝ එක සමීපව බැලුවොත් ලී කැබැලි එකිනෙකට තියලා බැඳ දැමීමට පාවිච්චිච කරපු කෙඳි ඔබට පෙනේවි. "Bagworm Caterpillar" දළඹුවා එයාගේ ගේ හදන්න විවිධාකාරයේ ගස් තෝරගන්නවා. ඒත් එයා වැඩියෙන්ම තෝරගන්නේ දේවදාර ගස් තමයි. කාලයක් යද්දි ටික ටික ලොකු වෙන දළඹු පැටවුන් තමන් ඉන්න ගෙදරින් එළියට ඇවිත් වෙනස් ගස්වලට බඩගා ගිහින් එයාලගේම කියලා ගෙයක් හදා ගන්නවා. ඒ වගේම සමහර කීටයෝ එයාලගේ ගෙදර තියෙන පට නූල්වල එල්ලිලා ඉන්නවා. ඉතින් හුළඟක් ආවාම ඒ පට නූල් පාවෙලා ගිහින් වෙනත් ගස්වලට එතෙනවා. එතකොට ඒ ගහ මත තමා එයා එයාගේ අලුත් ලී කැබින් එක හදන්නේ.
හොඳ පරීක්ෂාවෙන් බැලුවොත් සොබා දහම කියන්නේ හරිම අසිරිමත් දෙයක්.
- අනිල් කරුණාරත්න -