මිනිසුන් යොදා ගෙන අමෙරිකාව සිදු කළ කුරිරු පර්යේෂණ - 2

අමෙරිකානු බලධාරීන්, මිනිසුන් යොදා ගෙන සිදු කළ කුරිරු පර්යේෂණ ද්විත්වයක් පිළිබඳ තොරතුරු අපි මේ ලිපි පෙළෙහි පළමු කොටසින් ඔබ වෙත ගෙන ආවා. එම ලිපි පෙළෙහි දෙවන කොටස වන මෙම ලිපියෙනුත් තවත් එවැනි ම පර්යේෂණ දෙකක් පිළිබඳ ව තොරතුරු ඔබත් සමඟ බෙදා ගන්නට අපි අදහස් කළා.

මැන්හැටන් ව්‍යාපෘතිය හා සම්බන්ධ මාරක විකිරණ

රසායන විද්‍යාව, දේශපාලනය හා ලෝක ඉතිහාසය පිළිබඳ ව උනන්දු අයට මැන්හැටන් ව්‍යාපෘතිය පිළිබඳ හඳුන්වා දීමට අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය වන්නේ නැහැ. අමෙරිකානු බලධාරීන් මැන්හැටන් ව්‍යාපෘතිය සිදු කළේ ලොව ප්‍රථම පරමාණු බෝම්බය නිපදවීමට යි. කෙසේ නමුත් මේ ව්‍යාපෘතිය සිදුකරන විට මිනිසුන් කිහිපදෙනෙක් ම මාරක විකිරණ වලට ලක් වූ බව හා, එය එසේ වන බැව් දැන ගෙන එය වලක්වා ලීමට එය භාර ව සිටි අය කිසිදු උත්සාහයක් නොගත් බව දන්නේ අතළොස්සක් පමණ යි. එසේ ම එම නිරාවරණය වීම් හිතාමතා ම සිදුකළ දේ බවට ද යම් යම් අවස්ථාවලදී සැක සංකා මතු වී තිබෙනවා.

ප්ලුටෝනියම් හරය සහිත පර්යේෂණයක් - Wikimedia Commons

මැන්හැටන් ව්‍යාපෘතිය සිදුකරන විට එහි සමහරක් විද්‍යාඥයන් පර්යේෂණ සිදු කළේ සිය දිවි පරදුවට තබමිනු යි. විශේෂයෙන් සමහර විකිරණශීලී ද්‍රව්‍ය විවිධ තත්ත්ව යටතේ කෙසේ හැසිරෙයි ද යන්න පිළිබඳ ව ඔවුන්ට ඒ වන විට පැහැදිලි චිත්‍රයක් නොතිබූ අතර, ඕනෑම අවස්ථාවක මේවා මාරක පිපුරුමක් ඇති කිරීමේ දැඩි සම්භාවිතාවක් තිබුණා. විද්‍යාඥ හැරී ඩැග්ලියන්ට එවැනි අවාසනාවන්ත ඉරණමක් අත් වූ අතර ඔහු ප්ලුටෝනියම් හරයකින් නිකුත් වූ මාරක ගැමා කිරණ මාත්‍රාවකට නිරාවරණය වුණා. 

ඉන් දින 25 කට පසුව ඔහු මියගියේ ඉන් ඇති වූ සංකූලතා නිසා යි. මෙය අවස්ථාවක් කර ගත් එහි බලධාරීන් ඔහු නිදර්ශකයක් ලෙස උපයෝගී කරගනිමින්, එලෙස ගැමා කිරණවලට ලක් වූ අයකුගේ සෞඛ්‍යය ක්‍රමයෙන් පිරිහී යන ආකාරය හා සංකූලතා මතුවෙන ආකාරය අධ්‍යයනය කිරීමට පියවර ගත්තා. මෙවැනි ම ඉරණමක් කැනේඩියානු විද්‍යාඥ ලුයිස් ස්ලොටින්ටත් අත් වුණා. ඒ ඔහු අතින් වැරදීමකින් බෙරිලියම් ස්වල්පයක් ප්ලුටෝනියම් හරයකට වැටීම නිසායි. ඔහුගේ දිවිය ඉන්පසු දින 9 කට සීමා වුණා.

ගැමා විකිරණවලට නිරාවරණය

ඩැග්ලියන් හා ස්ලොටින් ගැමා විකිරණවලට නිරාවරණය වූයේ ඔවුන්ට ලැබී තිබූ ආරක්ෂාකාරී ක්‍රමවේද නිසි ලෙස නොපිළිපැදීම නිසා යි. කෙසේ නමුත් විද්‍යාඥයන්ගේ සහායට සිටි ඇතැම් කණ්ඩායම්වලට මේ ආරක්ෂාකාරී ක්‍රමවේද පිළිබඳ නිසි දැනුමක් ලබා දී නොතිබූ අතර, ඔවුන් ආරක්ෂාකාරී වන්නේ ද යන්න පවා නිසි ලෙස බලධාරීන් සොයා බලා තිබුණේ නැහැ. 1943 වසරේ දී පවා මෙලෙස එහි සේවකයන් කිහිපදෙනකු අන්තරායකාරී ලෙස විකිරණවලට නිරාවරණය වූ බවට සැක කෙරුණු අතර, වකුගඩු අකර්මණ්‍ය වුණු එක් කාන්තාවකට එසේ සිදුවූයේ විකිරණවලට නිරාවණය වීමෙන් බැව් හෙළි වුණා. 

එය කිසිවකුට හෙළි නො කිරීමට බලධාරීන් ක්‍රියා කළ අතර, පසුකාලීන ව ඔවුන් චිකාගෝ හා කැලිෆෝනියා විශ්ව විදාලවල සහයෝගය ඇති ව ටෙනිසී හි හමුදා රෝහලේ වූ රෝගීන් කිහිපදෙනකු පොලෝනියම් හා තවත් විකිරණශීලී මූලද්‍රව්‍ය මාත්‍රා කිහිපයකට නිරාවරණය කර, ප්‍රතිඵල නිරීක්ෂණය කළා. මීට අමතර ව ඔවුන් රොචෙස්ටර් වෛද්‍ය විද්‍යාලය ආසන්නව විකිරණශීලී සෝඩියම් පරීක්ෂාවක් ද සිදුකළා. එහිදී ඔවුන් විකිරණශීලී සෝඩියම් කුඩා ප්‍රමාණයක් පරිසරයට මුදා හැර, ඒවා අවට පරිසරයට පැතිරී යන්නේ කෙසේදැයි සොයා බැලුවා. මෙලෙස අමෙරිකානු බලධාරීන් එම පර්යේෂණ සඳහා මිනිසුන් සිය ගණනක් විකිරණවලට නිරාවරණය කළ අතර ඒ අතර මානසික ආබාධ සහිත දරුවන් 57 ක් මෙන් ම ආබාධිත වැඩිහිටියන් 100 ක් පමණ ද වුණා.

මැන්හැටන් ව්‍යාපෘතියේ සේවය කළ කණ්ඩායමක් සිය වේතනය ලැබෙන තුරු සිටින ආකාරය, මොවුන් නොදැනුම්වත්ව ම බලධාරීන්ගේ පර්යේෂණවලට ලක් වී තිබුණා - Wikimedia Commons

 පසුකාලීනව මේ පිළිබඳ කතිකාවතක් ඇති වූ අතර, මේ සබැඳි පර්යේෂණ පත්‍රිකා බොහොමයක් සැඟවීමට එහි බලධාරීන් ක්‍රියා කර තිබුණා. මේ නිසා එහි ඉදිරි අධ්‍යයන කටයුතු අඩපණ වුණා.

හමුදා 'විස' පර්යේෂණ

දෙවන ලෝක යුද්ධ සමයේ දී, එනම් 1942 වසරේදී පමණ අමෙරිකානු යුද දෙපාර්තමේන්තුවට, සිය රට ජෛව රසායනික අවිවලින් පහර කෑමේ දැඩි අවදානමක් ඇති බවට භීතියක් තිබුණා. ඔවුන් මේ පිළිබඳ ව ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්ට දැනුම් දීමෙන් පසු, ඔහු අමෙරිකාවේ ප්‍රථම ජෛව රසායනික අවි පිළිබඳව වූ බියුරෝව තැනීමට කටයුතු කළා. ඔවුන්ට භාරවූයේ අමෙරිකාව කොයිතාක් දුරකට ජෛව රසායනික ප්‍රහාරයකට ලක් වීමේ අවදානමක් ඇතිද? එලෙස වීමට හේතු වන දුර්වල ස්ථාන මොනාවාද? රුසියානු, ජර්මානු, ජපාන වැනි රජයයන් අමෙරිකාවට ජෛව රසායනික අවි ප්‍රහාරයක් සිදු කිරීමට උත්සාහ කරනවා ද යන්න වැනි කරුණු නිසි ලෙස සොයා බැලීම යි.

අමෙරිකාවේ ප්‍රථම ජෛව රසායනික අවි පිළිබඳව වූ බියුරෝව ඇති කිරීමේ මූලික අරමුණ වූයේ අමෙරිකානු ජනතාව ආරක්ෂා කර ගැනීම වූවත්, මේවා පරීක්ෂා කිරීම සඳහා යොදාගැනුණු ක්‍රමවේදයන්ගෙන් ඔවුන් ඊටත් වඩා අන්තරායකට ලක් වුණා.  ඇමෙරිකාවේ තෝරාගත් ස්ථාන කිහිපයකදී ම බියුරෝව විටින් විටවිවිධ විෂ අඩු මාත්‍රාවලින් පරිසරයට මුදා හැරුණා. ඒ ඒවා එලෙස පරිසරයට මුදා හැරියොත්, ඇතිවන තත්ත්ව කෙසේ වේ දැයි දැන ගැනීම සඳහා යි. මෙලෙස 1949 වසරේ සිට 1969 වසර දක්වා ම විටින් විට ඔවුන් මේ කර්තව්‍යය සිදු කළා. 

200කට අධික පර්යේෂණ 

මෙලෙස නිකුත් කළ රසායන ද්‍රව්‍ය, බැක්ටීරියා හා දිළීර බොහොමයක් මිනිසාට විශාල හානි ගෙන නොදෙන ඒවා වුණා. මෙලෙස පර්යේෂණ 200කට අධික ව සිදු කෙරුණු අතර , මුලින් ම එවැන්නක් ගැන වාර්තා වන්නේ 1950 වසරේ දී පමණ යි. 1950 වසරේදී සැන් ෆ්‍රැන්සිස්කෝ ආසන්න ව යාත්‍රා කරමින් තිබූ අමෙරිකානු නාවුක හමුදාවට අයත් යාත්‍රාවක් මගින්, ඒ තදාසන්න වෙරළට බැක්ටීරියා රාශියක් පොම්ප කළ අතර, මේ නිසා කී දෙනෙක් ආසාදනය වන්නේ දැයි සොයා බැලුණා. මේ නිසා දහස් ගණනක් අසනීප වූ අතර, එක් අයෙක් මිය ගියා. කෙසේ නමුත් එම සිදුවීම බරපතල ලෙස නොගෙන පසෙක හෙළූ බලධාරීන් පර්යේෂණ දිගට ම කරගෙන ගියා.

අමෙරිකානු C- 119 යානාවක්. අමෙරිකානුවන් සිය රට තුළ විෂබීජ විසිරුවා හැරීමට භාවිත කළ යානා වර්ගයක් - Wikimedia Commons 

ජෛව රසායනික අවියක් ක්‍රියා කරන ආකාරය සොයා බැලීම සඳහා බියුරෝව පිළිකා ජනක කැඩ්මියම් අවට පරිසරයට මුදාහළ අතර, ඔවුන් මේවා ධූමායනය කළේ හදිසි අවස්ථාවක දී, එනම් පරමාණු බෝම්බ පිපිරීම වැනි අවස්ථාවකදී දුම් පිරුණු පරිසරයක රටවැසියන්ට,  සිය ජීවිත ආරක්ෂා කර ගැනීමට හුරු කරන බව පවසමිනු යි. මෙලෙස මිනියපොලිස් හි පාසල් කිහිපයකට ද කැඩ්මියම් මුදා හැරුණු අතර, බොහෝ දෙනකු පිළිකාවලට ගොදුරු වීම සිදුවුණා.

1966 වසරේදී නිව්යෝක් හි දුම්රිය මාර්ග ආසන්නයට බැක්ටීරියා පිරවූ බල්බ විසි කෙරුණේ, දුම්රිය මඟින් පැන නැගෙන වායු ධාරා මඟින් ඒවා පැතිරෙයි දැයි සොයා බැලීම සඳහා යි. මීට අමතර ව ආහාර විසවීම් සිදු කරන බැසිලස් කාණ්ඩයට අයත් බැක්ටීරියාවක් ඔවුන් එම දුම්රියවල සිටි මගීන්ගේ ඇඳුම්වල, හිසකෙස්වල හා සමෙහි තවරා තිබුණේ ඔවුන් කිසිවකුත් ඒ ගැන නොදන්නා වටපිටාවක යි. මේවා නිසා බොහෝ දෙනා ලෙඩ රෝගවලට භාජනය වූ අතර, අවසානයේ මේ සඳහා කිසිවකුත් දඬුවම් වින්දේ නැහැ.