😲 දියවඩන නිලමේටත් පහර දෙන්න හැදු 93 අවුරුද්දේ දළදා පෙරහරේ රට නොදන්නා #අලි_කුලප්පුව 🐘🌿🌷


 😲 දියවඩන නිලමේටත් පහර දෙන්න හැදු 

93 අවුරුද්දේ දළදා පෙරහරේ 

රට නොදන්නා #අලි_කුලප්පුව 🐘🌿🌷


* කුලප්පු වුණේ කරඬුව වැඩමවන ඇතා


* කිසි කෙනකුට නොදැනෙන්න වෙන ඇතෙකු පිට කරඬුව වැඩමෙව්වා.


    අද කියන්නේ දළදා පෙරහරේ සිදුවු අලි කුලප්ලුවක් ගැන.හැබැයි මේ අලි කුලප්පුව රට දන්නේ නැහැ. 1950 දශකයේදි සිදුවු අලි කුලප්ලුවනම් ලෝකයේම ප්‍රසිද්ධවුණානේ.ඒත් මේ සිදුවිම දන්නේ දියවඩන නිලමේ ඇතුළු කිපදෙනෙක් පමණයි.ඒ කතාව තමා මේ.

     ඒ 1993 වසරයි. මහනුවර දළදා පෙරහර ආරම්භ කිරීමට සුබ මොහොතින් කප් සිටුවුවා.. ඉන් අනතුරුව ඇරඹෙන්නේ කුඹල් පෙරහරයි. කුඹල් පෙරහර පහක්නේ.


    පළමු වැනි කුඹල් පෙරහර අවසන්වී දෙවැනි කුඹල් පෙරහර ආරම්භ වුණා. ඒ හරියටම 1993 ජූලි 24 වැනි සෙනසුරාදා දවස. කසකරුවන්, හේවිසි, නැටුම්, කොඩිකරුවන්, පෙරමුණේ රාල ඇතුළු අලි ඇතුන් පෙරහර ඉදිරියෙන් ගමන් කරන්නට වූණා.


   ඒ වනවිටත  මාලිගාවේ රාජා හස්තියා මිය ගිහින්. රාජා මියගියේ 1988 ජුලි 16 වැනි දා. රාජා අවසන් වරට කරඬුව පෙරහරේ වැඩම්මුවේ 1987 වසරේදී.. නමුත් ඒ වනවිට පෙරහරේ කරඬුව වැඩම්මවීමට තරම් පුරුදු පුහුණු වූ ඇතෙකු මාලිගාවේ  සිටියේ නැහැ.. ඒ නිසා පෙරහරේ කරඬුව වැඩමවීමට වැඩිපුරම යොදා ගත්තේ රත්නපුර සමන් දේවාලයේ රාජා ඇතා.ඒ කියන්නේ සමන් දේවාලේ නිලමේ ඇන්ටන් තෙන්නකෝන් මහතාට අයිති ඇතා.සමන් රාජා කියලා තමා ඒ ඇතාට කිව්වේ.හෙයියන්තුඩුව ඇතාත් කරඬුව 

වඩම්මන්න යොදාගත්තා.


   93 වසරේ දෙවැනි කුඹල් පෙරහරේ කරඬුව වැඩම්මුවේද රත්නපුරේ සමන් රාජා ඇතා. සුබ නැකතින් කරඬුව තැන්පත් කිරීමෙන් පසු පෙරහර පිටත්වීමට සූදානම් වුණා. පෙරහර පිටත්වීමට අවශ්‍ය වෙඩිල්ල ද තැබුවා.


    කරඬුව තැන්පත් කළ රත්නපුරේ සමන්  රාජා ඇතා බොහොම ගාමිභීර ආකාරයෙන් මහ වාහල්කඩින් ඉදිරියට ආවා. ඇතා පිටුපස ගමන් කරන්නේ නිල ඇඳුමෙන් සැරසුණු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහත්තයා.


   අතීතයේ කුඹල් පෙරහරෙ දියවඩන නිලමේවරු  ගමන් කර නැහැ.ඒකට හේතුව එකල දියවඩන නිලමේවරු වයසක අය නිසයි.ඒ වෙනුවට ගමන් කරන්නේ බස්නායක නිලමේවරයෙක් නමුත් නෙරංජන් විජේරත්න දියවඩන නිලමේ ලෙස පත්වූ දා මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් දෙනමගෙන් ඔහුට අවවාදයක් ලැබුණා.. ඒ සිරිමල්වත්තේ ආනන්ද මාහානාහිමිගෙන් හා පලිපාන චන්දානන්ද මහානාහිමිගෙන්.


   ‘‘නිලමේ ඔබ තරුණ කෙනෙක්. ඒ නිසා කුඹල් පෙරහරෙත් නිලමේ ගමන් කරන්න ඕනේ. වෙන බස්නායක නිලමේවරු යවන්න එපා’’


  ඒ මහානාහිමිවරුන්ගෙන් ලද අවවාදයයි.


   දැන් පෙරහරේ මුල් කොටස ක්වීන්ස් හෝටලය අසලට ගිහින්. පෙරහර සෙමින් සෙමින් ඉදිරියට ඇදෙනවා. කසකරුවන් හා නැටුම් ගැයුම් බලමින් පිරිස ද රැස්ව සිටිනවා.


   කරඬුව තැන්පත් කළ රත්නපුරේ සමන් රාජා ඇතා  දෑලේ ඇතුන් සමගින් පත්තිරිප්පුව අසලට පැමිණියා. ඉදිරියට පෙරහර ඇදෙනතුරු එම ස්ථානයේ විනාඩි 45ක් පමණ සිටින්නට සිදුවුණා.ඇතා පිටුපස නිල ඇදුමින් සැරසි  නෙරංජන් විජේරත්න දියවඩන නිලමේ ඉන්නවා.


   ගතවූයේ සුළු මොහොතයි.. කරඬුව සහිත ඇතා එකවරම කුලප්පු වුණා.. දෙපස දෑලේ ඇතුන් දෙදෙනාට පහර දෙන්නට සූදානම් වුණා වහාම ඇත්ගොව්වන් දෑලේ ඇතුන් ඉවත් කර ගත්තා


    ඇතා ඉදිරියෙන් සිටි හේවිසි නැටුම් කණ්ඩායම් ඒ මේ අත දිව්වා.. ඇතා සමග සිටි ඇත්ගොව්වා ද පෙනෙන්නට නැහැ. දියවඩන නිලමේ ඉදිරියෙන් යන නැටුම් කණ්ඩායම ද ආගිය අතක් සොයා ගැනීමට බැරිවුණා.


   අන්තිමට  පත්තිරිප්පුව ඉදිරියේ තනිවුණේ කරඬුව සහිත ඇතා සහ දියවඩන නිලමේ පමණයි..


    ඉදිරියට ඇදුණු පෙරහරේ නැටුම් කණ්ඩායම් මේ කිසිවක් දන්නේ නැහැ.. පෙරහර ඉදිරියට යාම මොහොතකට නතර කරන කියලා  දියවඩන නිලමේවරයා වහා පණිවුඩයක් යැව්වා.


   ‘‘කරඬුව වඩම්මවන ඇතා කුලප්පු වුණා කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ හින්දා පෙරහරේ ඉදිරි කොටසේ හේවිසි ගහනවා. නටනවා. ඒත් එකම තැනමයි පෙරහර. ඒ මම දුන්න උපදෙස නිසයි. ඔහොම ඉන්න කොට එකපාරටම ඇතා මගේ පැත්තට හැරුණා. මට ගහන්න වගේ පැන්නා. මට ඉතින් දුවන්න බැහැනේ. මම බයවුණා ඇතා තව කුලප්පු වුණොත් කරඬුවට හානියක් වෙයි කියලා.එතැනට දුවගෙන ආවා නිර්වින්දන වෛද්‍ය නෙවිල් සිල්වා. මම කිව්වා ඇතා  නිර්වින්දනය කරන්න කියලා ඉක්මනින්.’’


  " නමුත් ඇතාට ඇඳුම් අන්දලා නිසා නිර්වින්දනය කරන්න අමාරුයි කියලයි ඔහු කිව්වේ. ඒත් කොහොම හරි කරන්න එපායැ. වෛද්‍යවරයා කිව්වා නිලමේතුමා ඇතාගේ මට පේන්නේ පිටුපස කකුල් දෙක විතරයි. එතනට විදින්නම්. හැබැයි ඇතා දඟලන නිසා වෙඩිල්ල වැරදිලා මිනිහෙකුට වැදුණොත් එතැනම මැරෙනවා කියලා’’


‘‘දැන් ඇතා ඉන්නේ මගේ දිහාට හැරිලා. මගේ ඇඟට පනින්න වගේ. මං ළඟ හිටිය කිසිම කෙනෙක් නැහැ. මම කිව්වා කමක් නැහැ ඉක්මනින් නිර්වින්දනය කරන්න. ඉලක්කය වැරදුණොත් වදින්නේ මට. එහෙම වුණත් කමක් නෑ. ඉක්මනින් කරන්න කිව්වා.’ නෙරංජන් විජේරත්න හිටපු දියවඩන නිලමේවරයා ඒ බිහිසුණු අත්දැකීම පැවසුවේ එසේය.


    කෙසේ හෝ නිර්වින්දන වෛද්‍යවරයාගේ ඉලක්කය හරි ගියා. නිර්වින්දනය කිරීමත් සමග ඇත්ගොව්වන් විසින් ඇතා මහ මළුවේ කොඩි ගස අසලට උපක්‍රමශීලීව ගෙන ආවා. පත්තිරිප්පුව අසල ඇතා කලන්තේ දමා වැටීමට පෙර ඒ පියවර ගත්තා.


    ඇතා ක්‍රමයෙන් කලන්තේ දමා පහතට වැටෙන්නට පටන් ගත්තා.. ඒ සමගම එතැනට දිවගිය දියවඩන නිලමේ කරඬුව බිමට වැටෙන්නට නොදී තමන්ගේ  අතට ගත්තා.නිලමේ  කාරිය කරවන කෝරාල කැඳවා ඇතා පිට ඇති රන්සිවි ගෙය ගැලවීමට උපදෙස් දුන්නා.


   කරඬුව අතට ගත් දියවඩන නිලමේ  හේවිසිකරුවන්,කවිකාර මඬුව  ගෙන්වා මුතුකුඩ යට  නැවත කරඬුව මාලිගාව තුළට වැඩම කළා. නමුත් කරඬුව යළිත් උඩමාලේ තැන්පත් කරන්න බැහැනේ.ඒ හින්දා  ඇතා මත කරඬුව තැන්පත් කරන මාලිගාව තුළ ඇති වේදිකාවට දියවඩන නිලමේ කරඬුව වැඩමවාගෙන ආවා.තේවාව භාරව සිටි පලිපාන සිරි නිවාස නාහිමියන් ඒවනවිට එතැනට වැඩමකර සිටි නිසා දියවඩන නිලමේ කරඬුව උන් වහන්සේට  භාර දුන්නා..


   ඒ වනවිට කුලප්පු වූ ඇතා කලන්තේ දමා මහමළුවේ කොඩි ගසේ බැඳලා හිටියේ.


   ‘‘ඒ වෙලාවේ මම ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නා. කරඬුව වැඩම්ම වූ ඇතා කුලප්පු වුණා කියලා ආරංචි වුණොත් මිනිස්සුත් බයවෙලා දුවනවනේ. ඒ නිසා මම පෙරහරේ පෙරමුණේ රාල ගමන් කළ ජයරාජා ඇතා ආපසු මාලිගාවට ගේන්න කියලා පණිවුඩයක් යැව්වා. ඒ වෙනුවට පෙරමුණේ රාළට යන්න වෙන ඇතෙකුත් යෙදෙව්වා. ඒ වනවිට පෙරහර එකම තැන නටන්නේ මොකද කියලා මිනිස්සු බලාගෙන ඉන්නවා. කොහොම හරි ජයරාජා ඇතාට ඉක්මනින් ඇඳුම් අන්දවලා රන්සිවි ගෙය බැන්ඳා. වෙනදා බොහෝ වේලාවක් රන්සිවි ගෙය බඳින්න ගියත් එදා විනාඩි පහළොවෙන් රන්සිවි ගෙය බැන්දා. පස්සේ සියල්ලටම ගියේ විනාඩි 45ක් වගේ කාලයක්. ඇතා කුලප්පු වෙලා නිර්වින්දනය කරලා, වෙනත් ඇතෙක් ගෙනත් ඇඳුම් අන්දවලා රන්සිවි ගෙය බැඳලා මේ සියල්ලම අපි කඩිනමින් කළා’’


"පෙරහර කරඬුව බොහොම බරයි. වෙනදා තේවාවේ ඉන්න හාමුදුරුවෝ පෙරහර කරඬුව උඩුමාලේ ඉඳලා ඇතා ළඟට වඩම්මන්නේ තැන්පත් කරන්න බලාගෙනනේ. ඒත් එදා නැවත ඇතා සූදානම් කරනකල් මමයි පලිපාන සිරිනිවාස නායක හාමුදුරුවොයි කරඬුව මාරුවෙන් මාරුවට අතේ තියා ගත්තා’’ යැයි නෙරංජන් විජේරත්න හිටපු දියවඩන නිලමේවරයා විස්තර කළේය.


   දළදා පෙරහර ඉතිහාසයේ කරඬුව වඩම්මපු ඇතකු කුලප්පු වූ ප්‍රථම අවස්ථාව එය බවයි හිටපු දියවඩන නිලමේතුමා කිව්වේ.


   අනතුරුව පෙරහර යළිත් පිටත් වුණා.. එහෙත් ඉදිරියෙන් ගිය නැටුම් කණ්ඩායම් හෝ ඇත් ගොව්වන් හෝ වෙන කිසිවකු කරඬුව වැඩම වූ ඇතා කුලප්පු බවක් අද වත් නොදන්නා බව නෙරංජන් විජේරත්න හිටපු දියවඩන නිලමේවරයා පවසන්නේය.


  "එදා  මහාපාරේදි ඇතා කුලප්පු වුණානම් ලොකු කරදරයක් වෙන්නත් තිබුණා.මහ පාරේ පෙරහර ගමන් ගන්නා විට ඇතා කුලප්පු වූණේ 1959දී සී.බී. නුගවෙල දියවඩන නිලමේගේ කාලයේදි. පෙරහරේ ගමන් කළ අලියකු කුලප්පු වී එදා ලොකු කලබලයක් සිදුවි තිබෙනවා.1959 අලි කුලප්පුවෙන් පස්සේ  අලියා දිවූ මාර්ගය අලි මුඩුක්කුව ලෙස අදත් හදුන්වනවා යැයිද හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතා පවසනවා.


    93දී මෙම කරඬුව සහිත ඇතා කුලප්පුවීමට හේතුවී ඇත්තේ ඇත්ගොව්වා අතෙහි වූ හෙණ්ඩුවේ තුඩ ඇතාගේ කකුලට වැරදීමකින් වැදීමෙනි.


Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form